Leprosy island හෙවත් ලාදුරු දූපත

Leprosy island හෙවත් ලාදුරු දූපත
February 26 09:54 2020 Print This Article

බෝට්ටුවක නැඟුණු අප මාන්තිව් කරා ගමන් අරඹන්නේ ඊළඟට ය. වලයිරෝ සිට සැතපුමක් පමණ දුරින් වන්නට මාන්තිව් දූපත පිහිටා ඇත. දූපතට පය තැබූ විට ම ඇස ගැටෙන්නේ පුල්ලයාර් දෙවියන් උදෙසා කළ කෝවිලකි. එය අසලින් ම ඇති අඩිපාරේ අප ඉදිරියට ඇදෙන්නට පටන් ගත්තා පමණි.
මොනරුන් දෙදෙනකු සෙබඩක දිනා ගැනීමේ ප්‍රේම තරගයකි. සෙබඩ මැදි කරගෙන ආඩම්බරකාර මොනරුන් දෙදෙනා පිල් විදහාලමින් ජේත්තුකාර නැටුමක ය. නැටුමට මැදි වූ සෙබඩ දෙපසට වැනෙමින් සිටින්නේ කවුරුන් තෝරා ගන්නේ දැයි යන හැඟීමෙන් වන්නට ඇත.
කෙසේ හෝ අවසානයේ ඇය මොනරකුට සමීපවත්ම අනෙක් මොනරා ලජ්ජාවෙන් මෙන් පසුබා ගියේ ය. තවත් මොහොතකින් පෙම්වතුන් යුවළ ද කැලෑ වැදුනහ. නැවැතත් ඉදිරියට ම ගමන් ඇරඹූ අපට මාන්තිව් දූපතේ අනේකවිධ වර්ගයේ කුරුල්ලන්ගෙන් ගහන බව අපට පසක් වෙමින් තිබිණි.
මෙකල පක්ෂීන්ගේ සංචාරක සමය හෙයින් එය තවත් ඉහළ ගොස් ඇති බව පෙනිණි. දියකාවන් ද, දියකාවන්ගේ බිජු හොරා කෑමට බලා සිටින රාජාලි උකුස්සන් ද මේ අතර විය. අප එක තැනක තත්පරයක් නතර වුවහොත් එසැණින් ම කුරුල්ලන්ගේ අසුචි වැලකින් සංග්‍රහය ලැබෙන්නේ ය. ඒ තරමටම කුරුල්ලෝ ගස්වල අරක්ගෙන ය.
මෙසේ ටිකෙන් ටික දූපත මැද්දට සැතපුමක් පමණ අපි පැමිණියෙමු.
අප මෙතෙක් වේලා දුටු සුන්දර සියල්ල මායාවක් වෙන මොහොත එළැඹෙන්නේ මෙතැන් සිට ය.
ගරාවැටුණු ගොඩනැගිලි රැසකි. ගණනින් ගොඩනැගිලි විස්සකට වැඩි වන්නට ඇත. අතීතයේ ලාදුරු රෝගීන් නැවතී සිටියේ මේ නිවාසයන්හි ය. දැන් ඒ අසල පළාතකවත් ඉන්නට බැරි තරමින් කුරුල්ලෝ අසුචි හෙළා ඇත.
කොළ පැහැති ගස්කොළං සුදු පැහැ ගෙන දිස්වන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙස ය. මේ අතරින් පතරින් ගිය අප නතර වූයේ ලාදුරු රෝහලේ වාට්ටුවේ ය .වාට්ටුවට ඇතුළු වත්ම අප ඉදිරියට ආවේ අවුරුදු අසූවක් පමණ වයසැති අයෙකි. “වනක්කම්” හෙතෙම දෑත් එක් කළේය.
නමින් කුරුනාදන් වන ඔහු ලාදුරු රෝගයේ ගොදුරක් වී සිටි අයකි. ඒ බව පෙනෙන ලකුණු රැසක් ම ඔහුගේ ශරීරයේ පෙනෙන්නට තිබිණි. තවත් මොහොතකින් එතැනට දිව ආවේ සේන ය. මේ රෝහලට ම සිටින ලාදුරු රෝගීන් දෙදෙනා ය.
ලාදුරු යනු මානව ඉතිහාසයේ ඇති වූ දරුණු ම රෝගයකි. එමෙන් ම එයට දීර්ඝ ඉතිහාසයක් ද තිබේ. පුරාණ මිසරයේ තැන්පත් කර තිබූ ඇතැම් මමිවල පවා ලාදුරු රෝගීන්ගේ ලක්ෂණ තිබූ බව කියවේ. ඒ අනුව රෝගයට ක්‍රි.පූ. 4000ටත් එහා යන ඉතිහාසයක් තිබෙන බව විශ්වාස කෙරේ.
මෙවැනි ඉතිහාසයක් තිබුණ ද රෝගකාරක බැක්ටීරියාව සොයාගනු ලබන්නේ 1873 වර්ෂයේදි ය. සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් සොයාගනු ලබන්නේ 1970 දශකයේ ය. කිවිසුම් යාමෙන්, කැස්සෙන් ආදියෙන් රෝගය බෝවෙන බැවින් රෝගීන් සමාජයෙන් ඉවත් කර දැමිණි. එකල බොහෝ සමාජවල ලාදුරු රෝගීන් හැඳින්වූයේ පව්කාරයන් ලෙස ය.

නැතිනම් දෙවියන්ගේ සාපයෙන් උපන් මිනිසුන් ලෙස ය. හැත්තෑව දශකය දක්වාම මිනිසත් බවේ ඛේදවාචකයක උරුමකරුවන් බවට මේ රෝගීන් ලක්විය. සමහර අවස්ථාවලදී මරා දැමිණි. මහ කැළෑවල් වලට ගොස් දැමිණි. හිරකරුවන් ලෙස සිර කර තැබිණි.
මේ සියල්ලෙන් මිදී පලා ගියහොත් රෝගියාගේ නම ප්‍රසිද්ධ කර නගර පුරා දැන්වීම් ඇලවිණි. මේ වධ වේදනාවලට බියවූවෝ සිය දිවි හානිකර ගත්ෙතා්ය. මේ එකල ලාදුරු රෝගීන් මුහුණ දුන් ඛේදවාචකයයි.
බටහිර ආධිපත්‍යයට ලංකාව යටත්ව පැවැති අවධියේදී ලංකාවේ පළමු ලාදුරු රෝහල ලන්දේසීන් විසින් ආරම්භ කරන ලදී. ඒ 1708 දී කොළඹ දිස්ත්‍රික්කයේ හැඳල දී ය. දෙවැන්න ආරම්භ කෙරුණේ මඩකලපු දිස්ත්‍රික්කයේ මාන්තිව් දූපතේ ය.
ප්‍රමාණයෙන් අක්කර 98 ක දූපතක් වන මාන්තිව් ලාදුරු රෝගීන් වෙනුවෙන් වෙන් කෙරිණි. එහි රෝගීන්ට අවශ්‍ය පහසුකම් ද සැකසිණි. රෝහල් සංකීර්ණයක්, නිවාස, පන්සලක්, හින්දු කෝවිලක්, ක්‍රිස්තියානි පල්ලියක් සහ ඉස්ලාම් පල්ලියක් ද මෙහි ගොඩනැඟිණි.
කෙසේ වෙතත් දැන් ලෝකය ලාදුරු අවදානමෙන් බොහෝ දුරට ඈත්වී ඇත. නව සහස්‍රය ලංකාවට එළැඹුණේ ද ලාදුරු තුරන් කළ රටක් ලෙසට ය. එහෙත් මානුෂීය අර්බුදයක් ශේෂව පවතී. එනම් තවමත් රෝහල්වල සිටින ලාදුරු රෝගීන් ය.
මාන්තිව් දූපතේ සිටින සේන ජයසූරිය සහ එස්. කුරුනාදන් ද එවැනි දෙදෙනෙකි. කුඩා අවදියේම ලාදුරු රෝගය සෑදී ඔවුහු මාන්තිව් දූපතට ගෙනත් දමති. රෝගය විසින් සේනලාගේ අත්පා ආදිය විකෘති කර තිබේ. එහෙත් දැන් මොවුහු ලාදුරු රෝගීන් නොවෙති.මේ අයට කියා දූපතේ කරන්නට ද කිසිම කාර්යක් නැත.
ඔවුන් දන්නේ ලෝකයට රැයක් දවාලක් ඇති බව පමණි. ඒ හැරුණු කොට මහ වැසි කාලවලට මේ දූපතේ විශාල කොටසක් වැස්සෙන් යටවන බවවත් ඔවුන් නොදන්නවා විය හැකිය. උතුරු- නැෙඟනහිර යුද සමයේ දී වැඩි රෝගීන් පිරිසක් මාන්තිව් දූපතේ සිටි බව කියවේ.
එහෙත් නැෙඟනහිර පළාත තුළ යුද්ධය උච්ච අවස්ථාවට පත්වන විට රෝගීන් ට බියෙන් කල් ගෙවන්නට විය. මේ නිසා බොහෝ රෝගීන් හැඳල රෝහලට ගිය බව රෝහල් සේවකයෙක් අප සමඟ පැවසීය. එහෙත්, සේන සහ කුරුනාදන් රෝහලෙන් ඉවත් නොකෙරුණු හෝ නොවුණු බව දැනගන්නට ලැබිණි.
“මගේ ගෙවල් තියෙන්නේ යාපනයේ පරන්ගිනේරුවල. මට ගෙදර යන්න ඕනේ මහත්තයා. මේ අය ටිකට් කපන්නේ නෑනේ. ටිකට් කැපුවානම් ගෙදර යන්ඩ තිබ්බා” කුරුනාදන් එසේ කීවද එහි සැබෑ තත්ත්වය එය නොවේ.
රෝගය සුවපත් වුව ද ඔවුන්ව බාර ගැනීමට කිසිවකු නොමැත. කුඩා කලදීම ලාදුරු රෝගියකු ලෙස හංවඩු ගසා මවුපිය නෑදෑයන්ගෙන් සහ සමස්ත සමාජයෙන් කොන්කර දමන ඔවුන්ගේ සමීපතමයෝ දැන් මිය දිලා ය. ඉතිරි ඈයන්ට ද කුරුනාදන් ගැන හැඟීමක් ඇතැයි සිතිය නොහැක. මේ නිසා හවුහරණක් නැතිව ඔහු ඔහේ ජීවත්වෙති.
· “මම බැඳලා. ගෙදර ඉන්න කාලේ කුලී වැඩයි කළේ. පස්සේ මගේ නෝනා රට ගියා.එයා ආවහම මම ආයේ ගෙදර යනවා.එයා ළඟදි ඒවි” තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සේන කතාබහට එක් වූයේ එලෙස ය.
“එතකොට ළමයි හිටියේ නැද්ද?” මම ඇසුවෙමි. “ළමයි හදන්න බැරිව ගියා” ඒ සමඟ ම අසල සිටි රෝහල් සේවකයකු තමාගේම හිසට ඇඟිල්ලකින් තට්ටු කර සේනට හොරෙන් මා වෙත සංඥාවක් නිකුත් කළේය. එයින් කියවුණේ සේන මානසික රෝගියකු බව ය.
ඇත්ත වශයෙන්ම සේන විවාහකයකු නොවේ.ඔහුට විදෙස් ගත බිරියක් සිටින බව කීම ද ඔහුගේ ම හිතළුවකි. සේන මාන්තිව් වෙත එන විට පීඩාවින්දේ ලාදුරු රෝගයෙන් පමණි. ලාදුරු සුව වුවත් ඔහු බාරගන්නට කිසිවකු ඉදිරිපත් වී නැත.
හුදෙකලා වූ ඔහුට සිහින දකිමින් කාලය ගෙවා දමනවා හැරෙන්නනට වෙන කරන්නට කිසිවක් නොතිබෙන්නට ඇත.

අවසානයේ සිහින ඔස්සේ ඔහුට උරුමවන්නට ඇත්තේ සිතුම් පැතුම් ජයගත් තරුණ ජීවිතයක් නොව, මානසික රෝගයකු වීමට ය. සේන ලාදුරු රෝගියකු වූූයේ බැක්ටීරියාවක් නිසාය. එහෙත් මානසික රෝගියකු වූයේ කාගේ වරදින් ද?
ඊළඟ කාරණය වන්නේ මේ දෙදෙනාට ඉදිරියට වන්නේ කුමක්ද යන්න ය. සමහර විට ඔවුන්ට නිදහසේ සිටීමට යැයි කියා මෙසේ ඉන්නට ඉඩ හැරියා දැයි අපි නොදනිමු. එහෙත් නිදහස යනු පාළු දූපතක හුදෙකලාව නිකං බලාගෙන සිටීමද යන්න නම් ගැටලුවකි. ඒ අතරම දූපතේ රෝහල වෙනුවෙන් ඉදිකෙරී තිබුණු ස්ථාන බොහොමයක් දැන් අබලන් ය.
ගොඩනැගිලි දෙක තුනක් පමණ රෝහල් සේවකයන් ගේ අවශ්‍යතා වෙනුවෙන් භාවිතයට ගැනේ. සමහර ගොඩනැගිලි ගරා වැටෙන්නට ඔන්න මෙන්න ය. වල් වැදිලා ය. පන්සලේ පෙනෙන්නට තිබෙන්නේ ඝන්ඨාර කුලුන පමණි. කතෝලික හා මුස්ලිම් පල්ලි ද ජරාවාස ය. හින්දු කෝවිලක් පමණක් භාවිතයට ගැනෙනුයේ රෝහල් සේවකයන් සියල්ලම පාහේ හින්දු නිසා වන්නට ඇත.
සිකුරාදාට පමණක් පූසාරිවරයකු මෙහි පැමිණ පූජා පැවැත්වුව ද, එයද බොහෝ සේ වල්වැදී ඇත. රෝහල් කාමර වල සිට කලපුව වෙත රෝගීන්ගේ මලමුත්‍රා ආදිය පිටවීමට තැනූ විශාල සිමෙන්ති කානු ද විනාශ මුඛයට ඇද වැටිලා ය.
දැනට රෝහලේ නේවාසිකව සිටින රෝගීන් දෙදෙනා වෙනුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය එකොළොස් දෙනෙකි. ඒ හැරුණු කොට රෝහල් කටයුතු වෙනුවෙන් තැපැල් ස්ථානයක් ද පිහිටුවා තිබේ. මාන්තිව් උප තැපැල් ස්ථානාධිපති ලෙස කටයුතු කරන්නේ එම්. නිර්මලා මහත්මියයි.
“මෙතැන ඔෆිස් එක පටන් අරන් දැන් අවුරුදු 50-60 ක් විතර ඇති. මගේ මාමා තමයි මෙතැන මුලින් වැඩකළේ. එයාගෙන් පස්සේ මම වැඩ බාර ගත්තා. දැන් අවුරුදු 16ක් මම මෙතැන වැඩ කරනවා. සමහර දවස්වලට ලියුම් එනවා, සමහර දවස්වලට ලියුම් නෑ.
දවසකට කියලා වැඩියෙන්ම ලියුම් ආවොත් එන්නේ තුනක් විතරයි. කොහොම වුනත් හැම පහසුකමක්ම මට දීලා තියෙනවා. වැඩක් නැතිව ඉන්නකොට නම් ඉතින් හරිම කම්මැලියි. ඒත් දැන් ඒකට හුරුවෙලා හින්දා ගාණක් නෑ”
සේවකයන් වන ඔවුන්ට නම් රාජකාරිය නිමවී යන්නට ගෙයක් දොරක් ඇත. නැවැතත් සේවයට එන්නට ස්ථානයක් ද තිබේ. එහෙත් සේන සහ කුරුනාදන් නම් රෝගයක් විසින් දූපතේ හුදෙකලා කල නිකම්ම නිකම් පුරවැසියන් දෙදෙනෙක් වී සිටිති. මාන්තිව් යනු සුන්දර දූපතකි.
බෝට්ටුවක නැඟී මේ දූව වටා ගිය අපට අනේක විද සුන්දර දසුන් පෙළ ගැසිණි. තරගයට මෙන් බෝට්ටුව වටේ පීනා ගිය කුඩා මාළු රංචු වූහ. ඒ අස්සේ උකුස්සකු හෝ වෙනත් කුරුල්ලකු විසින් මාළුවකු ඩැහැගනිමින් ඊයක වේගයෙන් පියඹා යයි. දියකාවෝ ගස් අතු මත වසා සිටිති.
රාත්‍රියේ සංචාරයේ නියැළුණු වවුලෝ ද එම ගසේ ම එම අත්තේ ම එල්ලී නිදන්නේ දියකාවුන්ගේම සෙවණැලි මෙනි. කිඹුලන් සිටින බවට සාක්ෂි සපයමින් මරා දමන ලද හරකකුගේ සිරුරක් ජලයේ පාවේ. මිනී මරු කිඹුලන්ගේ අවදානම ද නොතකා මාළු අල්ලන අඹුසැමි යුවළකි. ඈතින් ඈතට පෙනෙන බොහෝ දෑ සුන්දර චිත්‍රයකි. මේ සියලු සුන්දර දසුන් මැද්දේ මිනිසුන් දෙදෙනකු මරණය එනතෙක් බලා සිටීම කෙතරම් අසුන්දර ද?
source from internet

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment