ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට තවත් පක්ෂ 05 ක්

February 25 22:24 2020 Print This Article

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ප්‍රථම විධායක සභා රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2020.02.25) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී රැස්විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාද ඊට සහභාගි වූහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, මහජන පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතාන්ත්‍රික වාමාංශික පෙරමුණ, දේශවිමුක්ති ජනතා පක්ෂය යන පක්ෂ මෙම අවස්ථාවට සහභාගී විය. ආරම්භයේදීම අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මෙම සන්ධානය තුළ පිළිගත් ලියාපදිංචි දේශපාලන පක්ෂ නවයක් දැනට ඇතුළත් ව ඇති බවත් පසුගිය මැතිවරණයේදී පොදු ජන පෙරමුණ සමඟ සන්ධානගත වූ අනිකුත් පක්ෂ ලියාපදිංචිය සම්පුර්ණ කළ විට ඊට ඇතුළත් කරගැනීමට කටයුතු කරන බවයි. ශක්තිමත් දේශපාලන ගමනක් උදෙසා නව සන්ධානය කටයුතු කරන බවත් ඊට තම පුර්ණ කැපවීම ලබා දෙන බවත් බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. දැනට ප්‍රධාන පක්ෂ නවයක ප්‍රධානත්වයෙන් සන්ධාන ගතව ඇති ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණු සන්ධානය තුලට නව දේශපාලන පක්ෂ පහක් ඇතුළත් කර ගැනීම සඳහා වූ යෝජනාවට විධායක සභාව මෙහිදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, දමිළ මහජන විමුක්ති සංවිධානය, එක්සත් මහජන පක්ෂය යන පක්ෂ ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන සන්ධානය නියෝජනය කරන පක්ෂ ලෙස මින් ඉදිරියට කටයුතු කරනු ඇත. මේ අනුව පක්ෂ 14 ක් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයට ඇතුලත් වේ. එසේම මෙහිදී නියෝජ්‍ය සභාපතිවරයෙකු ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා , ජාතික සංවිධායක ධූරය සඳහා විමල් වීරවංශ මහතා , උප උපසභාපතිවරු ලෙස වාසුදේව නානයක්කාර, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර යන මහත්වරුන්ද උප ලේකම්වරුන් ලෙස අසංක නවරත්න, ඩී කලංසූරිය යන මහත්වරුන් ද පත් කිරීමටද අදාළ විධායක සභාව විසින් අනුමැතිය ලබා දෙන ලදී. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා : මේ අවස්ථාව අපි මැතිවරණයකට සුදානම් වන වෙලාවක්. ඒ මැතිවරණය තුනෙන් දෙකකින් ජයග්‍රහණය කරන්න මේ එකතු වීම රට තුළත් සංධානය තුළත් විශාල ශක්තියක් වනු ඇතැයි මම හිතනවා. අපි අමාරුවෙන් හදාගත්ත ආණ්ඩුවක් මේ තියෙන්නේ. පාර්ලිමේන්තු බලය අපිට ලබාගන්න අවශ්‍යයි. ඒ පාර්ලිමේන්තු බලය තුළ වැඩපිළිවෙලක් සමග ජනාධිපති වරයාගේ දෑත් ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න අවශ්‍යයි. අපේ මූලික අරමුණ වෙලා තිබෙන්නේ ජනාධිපති වරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරියට අරගෙන යාමයි. එම වැඩපිළිවෙලට අප සියලු දෙනාගේම සහයෝගය පක්ෂ වශයෙන් ලබාදිය යුතු යැයි මම විශ්වාස කරනවා. ඒ සඳහා එකතු වීම අත්‍යවශ්‍යයි. ඒ තුළින් විශාල ජයග්‍රහණයක් අපට ලබාගත හැකි වේ යැයි මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා ඔබ සියළු දෙනා එක්ව කටයුතු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment