නිශ්ශංක සේනාධිපති රෝහල‍ේ ඉදන් රුපියල් බිලියන 180 ක ව්‍යාපෘතියක් නිර්මාණය කරයි

January 16 12:07 2020 Print This Article

රිමාන්ඩ් රැඳවි අංක 5991 නිශ්ශංක සේනාධිපතිගෙන් වසරකට රටට රුපියල් බිලියන 180 ක් ගෙනෙන්නට තවත් ව්‍යාපෘතියක් ධීවර ප්‍රජාව වෙනුවෙන් ධීවර සවිය

වැලිකඩ බන්ධනාගාර රෝහලෙන්, කොළඹ ජාතික රෝහලට වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර පිණිස මාරු කර එවා එහි රඳවා සිටින ඇවන්ට් ගාර්ඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා තවත් සුවිශාල ව්‍යාපෘතියක් එහිදී නිර්මාණය කළේ සමස්ත ශ්‍රී ලංකාවාසී ධීවර ප්‍රජාවගේ අභිවෘද්ධිය පිණිසය.

2018 වසරේ ඔක්තෝබර් මස, මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුව ඔහු එතුමන් මුණගැසුණු අවස්ථාවේදී, මෙරටට අවශ්‍ය විදේශ විනිමය වඩ වඩාත් උපයා දීමට හැකි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සේනාධිපති මහතා ගෙන් පෞද්ගලික ඉල්ලීමක් කර ඇත. එකී ඉල්ලීම කල දින සිට මේ දක්වා ජාත්‍යන්තර මුහුදේ ශ්‍රී ලංකික ධීවර ප්‍රජාව විසින් පවත්වා ගෙන යනු ලබන මසුන් ඇල්ලීමේ කටයුතු හා ක්‍රමවේද අන්තර් ජාතික මට්ටමට ඔසවා තැබීම මඟින් ශ්‍රී ලංකාවට වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියනයක් හෙවත් රුපියල් බිලියන 180 ක් උපයා දෙමින්, දේශීය ආර්ථිකය නඟා සිටුවීම සඳහා සුදුසු ක්‍රම වේදයන් අධ්‍යයනය කරමින් හා සැලසුම් කිරීමෙන් පසු, ඇවන්ට් ගාර්ඩ් සභාපතිවරයා ඔහුගේ නවතම ව්‍යාපෘතිය සකසා ඇත. මේ වන විට අපනයන මත්ස්‍ය කර්මාන්තය තුළින් ශ්‍රී ලංකාව උපයා ගන්නේ වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක පමණ විදේශ විනිමයක් වන අතර, සේනාධිපති මහතාගේ ව්‍යාපෘතිය තුළින් එම විදේශ විනිමය ආදායම වසරකට ඩොලර් මිලියන 1000 ක් වනු ඇත.

ජනාධිපති ධුරාපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 සැප්තැම්බර් මස සිංගප්පුරුවේදී ඇවන්ට් ගාර්ඩ් සභාපතිවරයා මුණගැසුණු අවස්ථාවේදී ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙනෙන නව ක්‍රම ඇත්දැයි සේනාධිපති මහතා ගෙන් විමසා ඇත්තේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම පිණිස සිංගප්පුරුවට ගොස් සිටින අතරතුර විවේකීව සිටින අවස්ථාවකදීය. මේ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරාපෙක්ෂකයෙකු පමණක් වුවත්, රට ගොඩනැගීම වෙනුවෙන් විදේශ විනිමය සොයා ගැනීම සම්බන්ධව දුරදර්ශීව සිතීමට තරම් බලවත් වුවමනාවක් ඔහු සතුව තිබුණි. ජාත්‍යන්තර මුහුදේ ශ්‍රී ලංකික ධීවර ව්‍යාපෘති අන්තර් ජාතික මට්ටමට ඉහළ නැංවීම තුලින් විදේශ විනිමය උපයා ගන්නා ආකාරය පිළිබඳව සේනාධිපති මහතා එහිදී ඔහුව දැනුවත් කර ඇත.

2011 සිට වසර නවයක් පුරා මේ වනතුරුත් සෝමාලියානු මුහුදේ මසුන් ඇල්ලීමේ යෙදී සිටින ලෝකයේ ප්‍රධානතම ව්‍යාපාරිකයාට අයත් විදේශීය ට්‍රෝලර් යාත්‍රාවන්ට ආරක්ෂාව සපයන්නේ මේජර් නිශ්ශංක සේනාධිපති මහතාගේ ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සේවා සමාගම වන අතර මෙම ව්‍යාපෘතිය ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේද සේනාධිපති මහතාමය. එම කාලය තුළදී අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ රජයේ ආරක්ෂක ලේකම්වරුන් වූ බී. එම්. යූ. ඩී. බස්නායක, කරුණාසේන හෙට්ටිආරච්චි, කපිල වෛද්‍යරත්න යන මහත්වරුනුත් එලෙස සෝමාලියානු මුහුදේ මසුන් ඇල්ලීමේ යෙදී සිටින විදේශීය ට්‍රෝලර් යාත්‍රාවන්ට ආරක්ෂාව සැපයීම පිණිස සියළු අවසර ලබා දී තිබුණු අතර, 2019 ජනවාරි මස 20 වන දින ඒ සම්බන්ධයෙන් වූ ගිවිසුමේ කාලය අවසන් වූ පසුව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියමයෙන් එවක ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා තවත් මාස හයක් දක්වා එකී අවසරයන් දීර්ඝ කරණ ලදී.

කරුණු එසේ හෙයින්, ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ නිරන්තරයෙන් නව මංපෙත් සොයන්නට උත්සුක වන ඇවන්ට් ගාර්ඩ් සභාපතිවරයා සෝමාලියානු මුහුදේ මසුන් ඇල්ලීමේ කටයුතු වල යෙදී සිටි විදේශීය ධීවර යාත්‍රාවන්ට ආරක්ෂාව සපයන අතරතුර දීම ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමේදී විදේශීය යාත්‍රා විසින් අනුගමනය කරනු ලබන සියළු නවීන ක්‍රමවේද පිළිබඳව මනා අධ්‍යයනයක යෙදුණි. එම අධ්‍යයනයන් තුළින් ගැඹුරු මුහුදේ මත්ස්‍ය ගහන නිශ්චිතවම සොයා ගැනීම, නිසි තාක්ෂණික පියවර අනුගමනය කරමින් සාර්ථකව මසුන් ඇල්ලීම, මත්ස්‍ය අස්වැන්නට හානියක් නොවී ජාත්‍යන්තර වෙළඳ පළට විකිණීමට සුදුසු පිණිස එම අස්වැන්න සැකසීම, සකසන ලද මත්ස්‍ය අස්වැන්න ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගබඩා කිරීම සහ විශාල විදේශ විනිමයක් ලබා ගත හැකි පරිදි ඍජුවම විදේශ වෙළඳපළට විකිණීම යන සියළු අංශ සම්බන්ධයෙන් පරිපූර්ණ දැනුමක් ඔහු ලබා ගෙන තිබුණි. මේ සියළු කටයුතු සම්බන්ධයෙන් හුවමාරු කරගත් විද්‍යුත් තැපැල් ලිපි ප්‍රමාණය 200 කට අධිකය.

එකී නවීන ක්‍රමවේද ශ්‍රී ලාංකික ධීවර කර්මාන්තය වෙනුවෙන් ආදේශ කරමින් ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමේ කාර්යය සාර්ථකව කරමින්, කිසිදු පිළිසරණක් නැති ධීවර ප්‍රජාවට සරණ වීම සඳහා රෝහල් ගතව සිය රිමාන්ඩ් සිර දඬුවම ගෙවමින් සිටින සේනාධිපති මහතා සිය ව්‍යාපෘතිය තුළින් පියවර ගෙන ඇත. ඔහුගේ මෙම ධීවර ව්‍යාපෘතිය යටතේ මීටර් 200 මව් යාත්‍රා 10 ක් හා මීටර් 100 පිරිසැකසුම් යාත්‍රා 10 ජාත්‍යන්තර මුහුදේ යොදවමින් ශ්‍රී ලාංකික ධීවර කර්මාන්තය අන්තර් ජාතික තලයට වැඩිදියුණු කර 5000 ක් පමණ වන ශ්‍රී ලංකා ධීවර යාත්‍රා හා එමඟින් සිය දිවි සරි කරගන්නා ධීවර ජනතාවට මහඟු ප්‍රතිලාභ උදා කර දෙනු ඇත. සේනාධිපති මහතාගේ මෙම ව්‍යාපෘතිය තුළින් දැනට ශ්‍රී ලාංකික ධීවර ජනතාව උපයන ආදායම මෙන් පස් ගුණයක ආදායමක් උපයා ගැනීමේ භාග්‍යය ඔවුනට හිමි වෙනු ඇත.

මුළු මහත් ලෝකයේම මෙවන් පරිපුර්ණ ධීවර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන්නේ ප්‍රථම වතාවට වන අතර, දැනට මෙවැනි ව්‍යාපෘති කුඩා ප්‍රමාණයෙන් කරගෙන යන විදේශීය ව්‍යාපාරිකයන් ඇවන්ට් ගාර්ඩ් සභාපතිවරයාට පවසා ඇත්තේ ඉතිහාසයේ කිසිම විටෙක ඔවුන් මෙවන් සුවිශාල මට්ටමේ ව්‍යාපෘති දැක නොමැති බවය. එවිට සේනාධිපති මහතා ඔවුන්ට පවසා ඇත්තේ ලෝකයේ කිසිවෙකු මෙවන් සුවිශාල ව්‍යාපෘති නොකරන්නේ නම් තමන් විසින් එවන් ව්‍යාපෘති කළ යුතුම බවය. ඇවන්ට් ගාර්ඩ් සමාගම තවත් රටවල් හතරක් සමඟ එකතුව මෙම ව්‍යාපෘතිය නිමවා ඇත. මෙහිදී ලබා ගන්නා මත්ස්‍ය අස්වැන්න විදේශීය වෙළඳපලට විකිණීමට සඳහා ලෝකයේ ප්‍රබල රටවල් දහයක වෙළඳපල සමඟ ගිවිසුම් ගත වීමට සියළු කටයුතු මේ වන විටත් සූදානම් කර ඇත. මෙමඟින් ශ්‍රී ලංකාවට ලබා දෙන ආදායම වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියනයක් හෙවත් රුපියල් බිලියන 180 ක් පමණ වේ. මෙම ව්‍යාපෘතියේ මුළු වියදම මසකට ඩොලර් මිලියන 60 ක් පමණ වන අතර, ශ්‍රී ලංකා රජයට අයත් ශතයකුදු මේ වෙනුවෙන් වැය නොවේ.

තවද, ශ්‍රී ලාංකික ධීවර ප්‍රජාව වෙනුවෙන් ඔවුන්ගේ යාත්‍රාවන්ට මුහුදේදී අවශ්‍ය වන ඉන්ධන, ආහාර, අයිස්, පානීය ජලය ආදී ද්‍රව්‍ය සහන ණය ක්‍රමයකට ලබා දීමටද සේනාධිපති මහතා කටයුතු පිළියෙළ කර තිබේ. මීට අමතරව මුහුදේදී ධීවරයන්ට අවශ්‍ය වන වෛද්‍ය පහසුකම් ලබා දීමද මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කරනු ඇත. මේ සියල්ල සඳහා මසකට ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 10800 ක් වේ.

සේනාධිපති මහතාට මෙම ව්‍යාපෘතිය සැකසීම වෙනුවෙන් ගරු ධීවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා මුළු හදවතින්ම සිය සම්පුර්ණ සහයෝගය ලබා දී ඇත. තවද ප්‍රධාන පෙළේ ධීවර යාත්‍රා හිමියන් රැසක්ද සමඟ ඔහු සාකච්ඡා වට රාශියක් පවත්වා ඇත්තේ සිය ව්‍යාපෘතිය වෙනුවෙන් ඔවුන්ගේ ගුරුහරුකම් හා අගනා උපදේශ ලබා ගැනීම වෙනුවෙන්ය.

බොහෝ කරුණු මැනවින් අධ්‍යයනය කරමින් ශ්‍රී ලාංකික ධීවර ප්‍රජාවටත් , මුළු මහත් ජාතියටත් සෞභාග්‍යය උදාකරලීම පිණිස සකස් කරන ලද මෙම ව්‍යාපෘති වාර්තාව 2020 ජනවාරි මස 16 වෙනි දින ගරු ජනාධිපතිතුමාට භාරදීමට කටයුතු සිදුකළ අතර, මේ සම්බන්ධයෙන් සිය සම්පුර්ණ සහයෝගය හා දායකත්වය ලබා දීමට හිටපු ධීවර අමාත්‍යවරයෙක්ද වන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් වී ඇත. ඉහතින් සඳහන් කළ සම්පුර්ණ ව්‍යාපෘති වාර්තාව 2020 ජනවාරි මස 17 වෙනි දින ගරු අග්‍රාමාත්‍යතුමාගේ සුරතට පත් කරනු ඇත. ඇවන්ට් ගාර්ඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතාගේ මෙම නවතම ව්‍යාපෘතිය 2020 ජූනි මස සිට ආරම්භ කිරීමට නියමිතය.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment