රාජිත අද අධිකරණයට

by Jehan | December 30, 2019 7:52 am

සුදුවෑන් මාධ්‍ය හමුව සංවිධානය කිරීම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද(30) දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

රාජිත සේනාරත්න මහතා මේ වනවිට කොළඹ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.

මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 24 වනදා වරෙන්තු නිකුත් කළේය.

ඒ අනුව මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් රාජිත සේනාරත්න මහතාගේ නිවෙස් වෙත ‍ගියද ඔහු එහි රැදී සිටියේ නොමැත.

කෙසේවෙතත් මන්ත්‍රිවරයා පසුව නාරහේන්පිට පෞද්ගලික රෝහලක හෘද රෝග ඒකකයට ඇතුළත්ව තිබුණි.

එහිදී මන්ත්‍රිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වු අතර රෝහල වෙත පැමිණි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය රාජිත සේනාරත්න මහතා පරීක්ෂා කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

කෙසේවෙතත් පෙරේදා දිනයේ මන්ත්‍රිවරයාගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කළ බන්ධනාගාර වෛද්‍යවරයා රාජිත සේනාරත්න මහතාව බන්ධනාගාර රෝහල වෙත හෝ කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවන ලෙස නියෝගයක් ලබා දී තිබුණි.

ඒ අනුව ඊයේ පස්වරුවේ බන්ධනාගාර ගිලන් රථයක් අදාළ පෞද්ගලික රෝහල වෙත ගියද මන්ත්‍රිවරයාගේ අසනීප තත්වය යළිත් වරක් අයහපත් තත්වයට පත්වීම හේතුවෙන් බන්ධානාගාර රෝහල වෙත මාරු කිරීමට ගත් පියවර තාවකාලිකව නතර කෙරුණි.

මන්ත්‍රිවරයා රැගෙන යාමට පැමිණි බන්ධානාගාර නිලධාරීන් වෙත පෞද්ගලික රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ මන්ත්‍රිවරයාගේ ජීවිතයට කිසියම් අනතුරක් සිදුවුවහොත් එහි වගකීම බන්ධනාගාර නිලධාරීන් භාරගත යුතු බවයි.

Source URL: https://lankanewshits.net/2019/12/30/rajitha-whitevan-7/