ශ්‍රීලනිප බල්ලොත් එක්ක බුදියන්න අපි ලැහැස්ති නෑ – ප්‍රසන්න

ශ්‍රීලනිප බල්ලොත් එක්ක බුදියන්න අපි ලැහැස්ති නෑ – ප්‍රසන්න
December 06 07:45 2017 Print This Article

.

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුක්තව ගොඩනැංවෙන පුළුල් දේශපාලන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ගමනට අභියෝග කරන්නට ආණ්ඩුවේ හවුල්කරුවන් වන කිසිදු පක්ෂයට හැකියාවක් නොමැති බව අවධාරණය කළ රණතුංග මහතා හවුල් ආණ්ඩුවේ අවසන් ගමන පළාත් පාලන මැතිවරණයෙන් පසුව ආරම්භ කෙරෙන බවත් පෙන්වා දුන්නේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ තරුණ තරුණියන් දැනුවත් කිරීම සඳහා ඉකුත් 03 වැනි දා උඩුගම්පොළ දී පැවැති සම්මන්ත්‍රණයක් අමතමිනි. මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

අවුරුදු තුනක් තිස්සේ නොයෙකුත් බොරු හේතු ඉදිරිපත් කරමින් කල්දැමුණු පළාත් පාලන මැතිවරණය තවත් මාස දෙකකින් පමණ පවත්වන්න නියමිතව තිබෙනවා.  ආණ්ඩුව හොඳටම දන්නවා මේ මැතිවරණය නෙමෙයි මොන මැතිවරණයක් තිබ්බත් ඒක තමන්ට අවසායි කියලා.

ඒ නිසා තමයි දන්න තුරුම්පු ගහමින් ආණ්ඩුව අවුරුදු තුනක් තිස්සේ පුංචි ඡන්දය කල්දමමින් ආවේ. කොහොම වුණත්  ඒකාබද්ධ විපක්ෂයේ සහ ජනතාවගේ විරෝධතා නිසා  ආණ්ඩුවට මැතිවරණය පවත්වන්න සිදුවුණා. ඡන්දය පවත්වන්න ආණ්ඩුවට සිදුවීමම ආණ්ඩු විරෝධී බලවේග ලැබූ ජයග්‍රහණයක් විදියට හඳුන්වන්න පුළුවන්.

මේක තිරණාත්මක මැතිවරණයක්. 2015 ජනවාරි 08 වැනි දා පැවැති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරපු පොදු අපේක්ෂකයා ඇතුළු කණ්ඩායමට අවුරුදු තුනකට පසුව ජනතාවගේ තිබෙන කැමැත්ත අපිට මේ මැතිවරණයෙන් මැන ගන්න පුළුවන්. ඒ වගේම එදා පරාජයට පත් වූ මහින්ද රාජපක්ෂ මහතාට අද හිමිව තිබෙන තැනත් මෙමඟින් මැන ගන්න පුළුවන්.

අද රටේ මිනිස්සු එක්ක කතා කරනකොට මේ ආණ්ඩුවට තිබෙන ජනප්‍රසාදයේ තරම ඕනෑම කෙනෙකුට පැහැදිලිව දැනගන්න පුළුවන්. අද මිනිස්සු දහදෙනෙක් ගත්තොත් නව දෙනෙක්ම මේ ආණ්ඩුවත් මේ පාලකයනුත් ප්‍රතික්ෂේප කරනවා. එතැනිනුත් පස්දෙනෙක්වත් වෙනසක් වෙනුවෙන් ඡන්දය දීපු අය කියලා පැහැදිලිව කියන්න පුළුවන්.

 

ජනාධිපතිවරණයෙදිවත් මහ මැතිවරණයෙදිවත් මිනිස්සු ඡන්දෙ දුන්නේ හවුල් ආණ්ඩු අටවා ගන්න නෙමෙයි. හැබැයි ජනාධිපතිවරණයේ දී නිර්පාක්ෂික වෙනවා කියපු ජනාධිපතිවරයා අන්තිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය  අල්ලගෙන එක්සත් ජාතික පක්ෂයේ නැට්ටේ ගැටගහලා හවුල් ආණ්ඩුවක් හැදුවා.

පහුගිය ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැදි ලක්ෂ 58ක ජනතාව ඡන්දය දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයට. නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයා වන මෛත්‍රීපාල සිරිසේන මහත්තයට ඡන්දය දුන්නේ එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂ නියෝජනය කරන ජනතාවයි.

සිරිසේස මහත්තයා අපේ පක්ෂය අතහැරලා එක්සත් ජාතික පක්ෂයට ගියේ ජනාධිපති සිහිනය සැබෑ කරගන්නයි. ඒ නිසා රටේ ජනාධිපති වෙච්ච පලියට සිරිසේන මහත්තයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත්වෙන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. එතුමා මේ පක්ෂය අතහැරලා ගිය කෙනෙක්.

හැබැයි එතුමා සහ එතුමා වටා ඉන්න ජන පදනමක් නැති එහෙයියෝ කිහිපදෙනක් හිතනවා ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් එතුමා සමඟ ඉන්නවා කියලා. නමුත් ගම්වල සැබෑ ශ්‍රී ලංකාකාරයෝ ඉන්නේ මහින්ද රාජපක්ෂ සමඟ මිසක් මෛත්‍රීපාල සිරිසේන සමඟ නොවෙයි කියන එක අද කාටවත් රහසක් නෙමෙයි.

සැබෑ නිදහස් පාක්ෂිකයන්ට එක්සත් ජාතික පක්ෂය සමඟ දීග කන පක්ෂයකින් වැඩක් නැහැ. ඒ අය තවදුරටත් පක්ෂය අතහැර යන්න හේතුව මේ හොර දීගයයි. මේක තේරුම් ගන්න ඇමැතිවරුන් කිහිපදෙනෙක් කියනවා ඒකාබද්ධ විපක්ෂය එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඩීල් දානවලු.

 

එක්සත් ජාතික පක්ෂයේ වළං හෝදන්න සිරිකොතට ගිහින් රනිල් වික්‍රමසිංහට සර් කියාගෙන දෙකට නැමීගෙන ඩීල් දාන් ඉන්න මේ උන්නැහෙලා අපිට ඇඟිල්ල දික් කරන්නේ රෙද්දක් ඇඳගෙනද කියන ප්‍රශ්නය විතරයි අපිට තියෙන්නේ. යූ. ඇන්. පියේ වැඩ අනුමත කරන, යූ. ඇන්. පිය එක්ක එකට ලගින අය ජනතාව ඉස්සරහා බබ්බු වෙන්න හදනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපට චෝදනා කරනවා සමගි සාකච්ඡා කඩා වැටුණේ අපි නිසයි කියලා. මේ සාකච්ඡා නතර වුණේ නිදහස් පක්ෂය සිරිකොතේ පිළිකන්නෙන් නැගිටලා අපේ පැත්තට එන්න අකමැති වෙච්ච නිසා මිසක් අපි එකතු වෙන්න බැහැයි කිව්ව නිසා නෙමෙයි.

මේ ඡන්දෙට ඉස්සර කොහොම හරි අපිත් එක්ක හවුලක් ගහගන්න ඕනේ වුණේ සිරිසේන මහත්යාගේ ගෝලයේ ටිකක මිසක් අපිට නෙමෙයි. අපි එකතු වෙමු කියලා නිදහස් පක්ෂයේ පස්සෙන් පන්නගෙන ගියේ නැහැ. එයාලම තමයි අපි ගාවට ආවේ බෙදුණොත් පරදිනවා කියාගෙන.

අපි කිව්වේ සාකච්ඡා කරනවා නම් ආණ්ඩුවෙන් අයින් වෙලා එන්න කියලා විතරයි. ඒක නොකර යූ. ඇන්. පියත් එක්ක මගුල් කන ගමන් අපි එක්ක හොර මගුල් කන්න ආපු උන්දලව අපි ආපහු හරවලා යැව්වා. මොකද බල්ලොත් එක්ක නිදාගත්තම නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්ක කියලා අපි දන්න නිසා.

මේ ඡන්දෙදි අපිට කිසිම පක්ෂයකින් තරගයක් නැහැ. එක්සත් ජාතික පක්ෂය සුපරුදු විදියටම ආණ්ඩුව පටන් ගෙන මාසයක් යන්නත් ඉස්සර හොර නාමය ගාගෙන ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. බණ්ඩාරනායක මැතිතුමා ආරම්භ කරලා මෙතෙක් කල් පිරිසිදුවට තිබ්බ නිදහස් පක්ෂයෙත් දැන් කුණු ගෑවිලා ඉවරයි.

 

හොරත් එක්ක එකට ආණ්ඩු කරලා හොරකම ජනතාවට එළිවුණාට පස්සේ අනේ අපි දන්නේ නැහැනේ කියන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් පුළුවන්කමක් නැහැ. ඒ හින්දා දැන් නිදහස් පක්ෂයටත් ජනතාවගෙන් තියෙන්නේ යූ. ඇන්. පියට තියෙන සැලකිල්ලම තමයි. මිනිස්සු හිතන්නේ දෙගොල්ලොම එකයි කියලයි.

ජනතා විමුක්ති පෙරමුණ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. හාමුගේ ගෝලයෝ ටිකත් හාමුට අත්වෙන ඉරණමම අත්වෙනවා සිකුරුයි. ඒ හින්දා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂය ඇතුළත් දේශපාලන බලවේගයට මුහුණ දෙන්න සමතෙක් අද රටේ ඉතුරු වෙලා නැහැ.

බණ්ඩාරනායක මැතිතුමාට කොන්ද පණ තිබුණා එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන්න. එතුමාගේ මාර්ගයේ යමින් එක්සත් ජාතික පක්ෂය එක්ක හවුල් ආණ්ඩු එපා කියන්න ශක්තියක් ඇති එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා පමණයි.

ඒ හින්දා මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට අද තෝරාගන්න තියෙන්නේ එකම එක මාර්ගයක් විතරයි. ඒ තමයි මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් යන මාර්ගය. අපිට හොඳටම විශ්වාසයි මේ රටේ බුද්ධිමත් ජනතාව ඒ මාර්ගයේ ගමන් කරනවා කියලා.

අපිට එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ඒක හොඳටමට බලා ගන්න පුළුවන්. මේ රටේ අලුත් දේශපාලන ගමනක ආරම්භය මේ මැතිවරණයේ දි සනිටුහන් කරනවා විතරක් නෙමෙයි 2020 වන විට මේ රටේ පාලකයන් තීරණය කරන ප්‍රධාන බලවේගයේ උප්පත්තියත් මේ ජනතාව හමුවට ඉදිරිපත් කෙරෙනවා කියලා මතක තියාගන්න.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.