පුටින් ලෝක තරුණ ප්‍රජාවට (නො)කියා කියන්නෙ කුමක්ද?

පුටින් ලෝක තරුණ ප්‍රජාවට (නො)කියා කියන්නෙ කුමක්ද?
October 18 13:16 2017 Print This Article

19 වන ලෝක තරුණ සමුළුව ආරම්භ කරමින් 15 වනදා හැන්දෑවේ 20000 පමණ තරුණ තරුණියන් ආමන්ත්‍රණය කලේ, 2016 වසරේ ඉකොනොමිස්ට් සගරාවට අනුව ලෝකයේ බලවත්ම මිනිසා වූ, රුසියානු ජනාධිපති පුටින්ය. වැඩිම වුනොත් ඔහු විනාඩි 2ක් කතාකරන්න ඇති. හැම තත්පර 20 විතර සැරයක් ඔහු තත්පර කිහිපයක් විරාමයක් ගත්තා. ඒ හැම විරාමයකදිම දහස් ගණනක් රුසියානු තරුණ තරුණියන් මහහඩින් ඔල්වරසන් දුන්නා. මේ මැයි දින පෙළපාලියකටවත්, දේශපාලන රැලියකට ආපු තරුණයෝ නෙමෙයි, වයස 20-22 රට පුරා විසිරුණු විවිධ විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න රුසියාවේ ඊලග පරම්පරාව.

පුටින් කියපු දේට වඩා වැදගත් පුටින් නොකියපු දේ. පුටින් කිවේ නෑ අපිට විප්ලව කරන්න එන්න කියල. පුටින් කිවේ නෑ කම්කරුවනි අවදිවෙයව් කියල, පුටින් කිවේ නෑ නිර්ධන පන්තියට සහය දෙන්න කියල. පුටින්, ලෙනින්ගේ චේගෙ කතා වලින් කෑලි බෑලි උපුටා දැක්වුවේ නෑ. ආපහු අපේ රටවල් වලට ගිහින් ධනපති ආණ්ඩු පෙරලන්න පාරට බහින්න හෝ ආයුධගන්න කියල කීවෙත් නෑ. ලංකාවෙන් අපි රතුපාට ටී ෂර්ට් මහගෙන ගියාට රුසියාවෙන් දුන්නෙ කහපාට ජර්සි එකක්. කොන්ෆරන්ස් එකේ ගිෆ්ට් එකට දුන්නේ මොබයිල් ෆෝන් එකක්, දීල කිව්ව රුසියාවෙ ඉන්නකන් ෆේස්බුක්, ව්ට්ස්අප් ෆ්‍රී කියල. ඉවෙන්ට් එකේ විස්තර තියෙන්නේ මොබයිල් එකෙයි ඊ මේල් වලයි. පදින්න බයිසිකලයක් නොමිලේ ගන්න අවශ්‍යනම් මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න ඕන. සමාරම්භක උත්සවය පුරාම රුසියානු ගීත වගේම යුරෝපයේ සහ ඇමරිකාවේ ජනප්‍රියම ගීත වාදනය කළා. බොහොමයක් නර්තන යුරෝපිය සහ ඇමරිකානු නර්තන. ඉවෙන්ට් එක ෆේස්බුක් සහ යු ටියුබ් වල ලයිව් දුන්නා.

ඒකයි මම හිතන්නේ වැදගත් වෙන්නේ පුටින් කියපු දේට වඩා නොකියපු දේ කියල.

‘විප්ලවයේ’ ගතානුගතික හැඩය රුසියාව අමතකකරල ඉවරයි. අලුත් විප්ලවය තියෙන්නේ – අලුත් පරම්පරාව ඉන්න තැන. අලුත් පරම්පරාව ඉන්නේ ගතික විද්‍යාව, නුතන සන්නිවේදනය, ඉදිරිගාමී තාක්ෂණය, අනාගතවාදී චින්තනය සහ සජීවී තොරතුරුත් එක්ක. ඔවුන් විරෝධාකල්ප ප්‍රකාශ කරන්නේ පාරෙ නෙමෙයි ඉන්ටර්නෙට් එකේ. ඔවුන් දේශපාලන ප්‍රතිපත්ති ලෙස දකින්නේ ඔවුන්ගේ නුතන සිහින වෙත ලගාවීමට මගපාදන වැඩපිළිවෙලවල්. තරුණයො රටින් රටට ඇවිදින්නේ Air BnB කාමර වල නැවතිල. අද මම සොචි නගරයේ අතරමං වුනොත් ගොඩ එන්න තියෙන ලේසිම ක්‍රමය Facebook Community එකකට එකතු වෙනඑක. මේ නගරයේ අඩුම මිලකට කාල බීල ආරක්ෂිතව ඉන්නවිදිය හොයාගන්න ලක්ෂ ගණනක් තරුණයෝ ස්වේච්චාවෙන් තොරතුරු සපයපු වෙබ්අඩවි සහ මොබයිල් ඇප් තියෙනවා. මේ තරුණ සමුළුවේ හැම පෝලිමකම හැම වහලක් යටම නන්නාඳුනන තරුණ තරුණියන් අනෙකාව Instagram එකෙයි Facebook එකෙයි මිතුරන් විදියට එකතුකරගන්නවා. අපේ අදහස්, ආකල්ප, කැමති අකමැති දේවල් ලොවපුරාම සුළග සේ පැතිරී යනවා. ට්‍රම්ප්, මයිත්‍රී, මෝඩි, ඇන්ජලීනා ජොලීට තියන ඉඩකඩ ඒ විදියටම අපි හැමෝටම සමාජමාධ්‍ය වල ලැබිල තිබෙනවා. අපි හැමෝම සමානයි. ඒක තමා අලුත් විප්ලවය ආරම්භවෙන තැන. රුසියාව නායකත්වය දෙන්න හදන්නේ අලුත් පරම්පරාව ඉල්ලාසිටින අලුත් විප්ලවයකට. සමහරවිට ඒ අරගලයේ නම ‘විප්ලවය’ නොවෙන්නත් පුළුවන්.

පුටින් එයාගෙ කතාව අවසන් කරමින් මෙන්න මෙහෙම කීවා, ‘ලෝකෙ වෙනස්වෙලා, තාක්ෂණය අලුත්වෙලා. අපි හැමෝම එකිනෙකාට සම්බන්ධයි. ඒත් මිනිස්සු විදිහට දුරස්වෙලා. කොච්චර සම්බන්ධවුනත් මිනිස්සු විදිහට හමුවෙලා එකිනෙකා සමග එකතුවෙන එකතරම් සුන්දර අත්දැකීමක් නෑ. ඉතින් ඔයාල හැමෝම එකතුවෙලා ඔයගොල්ලෝ කැමති ලෝකය නිර්භයව ගොඩනගන්න. අපේ රාජකාරිය එය සැබෑවක් කරගන්න සහය දෙනඑක’. මෙහෙම කිව්වේ ඇමරිකාවේ හෝ යුරෝපයේ නායකයෙක් නෙමෙයි, විප්ලවයට අවුරුදු 100ක් සමරන රුසියාවේ ජනාධිපති.

ඉතින් අලුත් ‘දේශපාලනික වම’ හැදෙන්නේ ‘අයිඩියෝලොජිකල් දකුණ’ ඇතුළෙද?

මිලින්ද රාජපක්ෂ / Milinda Rajapaksha

Image may contain: 1 person, standing and suit
Image may contain: one or more people and night
LikeShow More Reactions

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.