රාජ්‍යයක සැකැස්ම ඒහි ශිෂ්ඨාචාරයේ පිළිබිඹුවක් වියයුතුයි

October 10 08:17 2017 Print This Article

.

ලංකාවේ රාජ්‍ය සකස් විය යුත්තේ කෙසේ යන්න අප පළ කළ අදහසකට ආචාර්ය Nirmal Dewasiri මහතා විසින් වැරදි අර්ථ කතනයක් දීම නිසා මෙම සටහන ලියමි. නිර්මාල් සහ ඔහුගෙන් ප්‍රේරිත පිරිස් නිරන්තරව උත්සාහ ගනුයේ වාර්ගික අනන්‍යතා අනුව ලංකාවේ දේශපාලනය කියවීම ය. එමෙන් ම ඒ අනුව, රාජ්‍ය සැකසීම ය. එය අවාසනාවන්ත තත්වයකි. එමෙන් ම යල් පැන ගිය ගෝත්‍රික එළඹුමකි. මෙම තත්වයට අනුව රාජ්‍ය සැකසෙන්නේ නම්, වැදි ජනතාව වෙසෙන බිංතැන්නට ද වෙනම රාජ්‍යක් දිය යුතු ය. මඩකලපුවට වෙනම මුස්ලිම් රාජ්‍යකි. විටෙක තිහාරියට ද එසේ ය. මෙය කිසිසේත්ම ප්‍රායෝගික එකක් නොවේ. මේවැනි දැක්මක ප්‍රතිපලය වන්නේ, රාජ්‍ය ව්‍යුහය නිරන්තර ගැටුම්කාරි හා වියවුල් සහගත පදනමක පිහිටුවීම ය. එහි අවසන් ප්‍රතිඵලය ආරාජිකත්වයයි.

අප අවධාරණය කරන්නේ, ලංකාවේ රාජ්‍ය සකස් විය යුත්තේ මෙරට ඓතිහාසික ශිෂ්ඨාචාර පදනම පිළිබිඹු වන ආකාරයට බවයි. ඕනෑම රටක රාජ්‍ය සැකැස්ම නිර්මාණය හා නියාමනය වන්නේ ඊට අදාළ ශිෂ්ඨාචාරමය වටිනාකම් මූලික කරගෙන ය. ඒ ඒ රටවල රාජ්‍ය ව්‍යුහයන් අධ්‍යනය කිරීමේ දී එය පැහැදිළි වේ. එසේ නොවන්නේ නම් ඊට පැවැත්මක් මෙන්ම සජීව බවක් ද නැත. මන්ද රාජ්‍ය යනු හුදු නීතී මාලාවක් පමණක් නොව, එය එම රාජ්‍යයේ පුරවැසියන් හා අදාළ නීති මාලාව අතර නිරන්තර සංවාදයක් ද වන නිසා ය. ඒ අනුව, ශිෂ්ඨාචාරමය වටිනාකම් අනුව යමින් රාජ්‍ය ව්‍යුහය සැකසීම අනිවාර්යක් මිස තේරීමක් නොවේ.

ලංකාවේ ශිෂ්ඨාචාරය සිංහල ශිෂ්ඨාචාරයයි. එය ඓතිහාසික යථාර්තයකි. දමිළ ආක්‍රමණික රජවරු පවා මීට ගරු කළහ. එළාර රජතුමා තම පුතෙකු විසින් දාගැබක ගඩොලක් ගැලවෙන ලෙස තම කරත්තය දැක්වීමෙන් සිදුකළ හානියට දඬුවම් පැමිණීමට තරම් යොමු වූයේ ඒ හේතුවෙනි. ඔහුට නිරුපද්‍රිත ව වසර 44ක් රජකම් කිරීමට හැකි වූයේ ද ඔහු ශිෂ්ඨාචාරයට අනුගත ව රාජ්‍ය කළ නිසා බව ඉතිහාසය අධ්‍යනය කරන අයෙකුට පෙනී යා යුතු ය. එළාර ධාරමික රජෙකු බව මහාවංශය පවා පෙන්වා දෙයි.

ශිෂ්ඨාචාරයකට අනුව, රාජ්‍යක් සකස් වීම යනු කිසිවෙකුට විශේෂ වරප්‍රසාද දීමක් හෝ කිසිවෙකු අවවරප්‍රසාදගත කිරීමක් නොවේ.ශිෂ්ඨාචාරය සිංහල වීම යනු එය සිංහලයාට අයත් එකක් ලෙස සිතීම ද මුලාවකි. සිංහල අන්තවාදීන් විසින් මෙය මනාව තේරුම්ගත යුත්තකි. ජාතිකවාදීන් එය පටලවා නොගත යුතු ය. මේ සිංහලයාට අනෙකා මත බලය පැවැත්වීමට දෙන අවසර පත්‍රයක් ‍නම් නොවේ. කොටින් ම සිංහල ශිෂ්ඨාචාරය යනු සිංහලයාගේ පමණක් නොව, දෙමළාගේ ද මුසල්මානුවාගේ ද සෙස්සන්ගේ ද පොදු අයිතියකි. එනිසා එය පටු අර්ථයකින් නොගත යුතු ය. ඇරත් ශිෂ්ඨාචාරය සිංහල වීම තුළ හා එය රාජ්‍ය සැකැස්ම තුළ පිළිබිඹු වීම යනු සෙසු සංස්කෘත බැහැර කිරීමක් ලෙස නොගත යුතු ය. මා සලකන්නේ, ශිෂ්ඨාචාරය හා සංස්කෘතිය දෙකක් ලෙස ය. ශිෂ්ඨාචාරය යන්න සංස්කෘතියට වඩා අතිශය පුළුල් එකකි. බටහිර ශිෂ්ඨාචාරය මුළු යුරෝපය පුරා පැතිර තිබුණ ද ඒ ඒ තනි රටවල ඊට අනන්‍ය වූ සංස්කෘති හා උප සංස්කෘති බොහෝ ය. ඒ ඇසුරෙන් මේ දෙක අතර වෙනස වටහාගත යුතු ය.

මහින්ද පතිරණ

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.