විකුණා දැමීමට නියමිත අමිල සම්පත : පුල්මුඩේ ඛණිජ වැලි නිධිය

October 03 08:07 2017 Print This Article

රාජ්‍ය දේපළ විකිණීම, ස්වභාවික දේපළ විකිණීම පිළිබඳව වඩ වඩාත් සාකච්ඡාවට ලක්වන කාල සීමාවක් අප පසු කරමින් සිටිමු. මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ එලෙස විකුණා දැමීමේ ලැයිස්තුවේ අඩංගු රජය සතු ස්වභාවික සම්පතක් වන පුල්මුඩේ ඛණිජ වැලි නිධිය ගැන තොරතුරු ඔබ වෙත ගෙන . අවසානයේදී මෙය විකුණා දැමිය යුතුද නැද්ද යන්න තීරණය කරන තීරකයා වන්නේ ඔබයි.

පාසලේදී අ.පො.ස සාමාන්‍ය පෙළ මෙන්ම උසස් පෙළ සඳහාද ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් ගැන අධ්‍යයනයේදී ඉහළින්ම සඳහන් කරන වටිනා සම්පතක් ලෙස මෙය අපට හමුවේ.

ඉතිහාසය

1957 – ලංකා ඛණිජ වැලි සංයුක්ත මණ්ඩලය ස්ථාපිත කිරීම

1961 – ඉල්මනයිට් සැකසුම් කර්මාන්ත ශාලාව ස්ථාපිත කිරීම

1963 – වාණිජ වශයෙන් නිෂ්පාදන කටයුතු ඇරඹීම

1968 – රූටයිල් හා සර්කෝන් නිෂ්පාදන කටයුතු ඇරඹීම

1992 – රජය සතු ලංකා ඛණිජ වැලි සමාගම බවට පත්කිරීම

2007 – සමාගම් පනත යටතට ගැනෙන සමාගමක් බවට පත්කිරීම

නැගෙනහිර වෙරළේ ඛණිජ වැලි පවතින බව මුලින්ම අනාවරණය කරන්නේ ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා යටතේ 1904 වසරේදීයි. කර්මාන්තයක් වශයෙන් ආරම්භ කිරීමට මුලික පියවර ගනු ලබන්නේ 1957 තරම් කාලයක් ගත වීමෙන් පසුවයි.

පිහිටීම

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඛණිජ වැලි සංස්ථාව සහ ඛණිජ වැලි තීරය පිහිටා ඇත. මෙම මුහුදු තීරය නිලාවේලි දක්වාම පැතිර තිබේ.

සංයුතිය

පුල්මුඩේ ඛණිජ වැලි නිධියේ වටිනාකම ඉතා ඉහළ වන්නේ මෙහි ඇති ඉහළ ඛණිජ වැලි සංයුතියයි. 90%කට ආසන්න ඛණිජ වැලි සංකේන්ද්‍රණයක් පවතින මෙය ලොව හොඳම ඛණිජ වැලි නිධිවලින් එකකි. ඛණිජ වැලි අතරින් ඉල්මනයිට් 65% ක් තරම් ඉහළ ප්‍රතිශතයක්ද, රූටයිල් 10%ක්ද, සර්කෝන් 10%ක්ද වශයෙන් අඩංගු වේ.

මෙතෙක් නිධියේ කැණීම් නොකළ කොටසේ ඇස්තමේන්තුගත විශාලත්වය මෙට්‍රික් ටොන් මිලියන 12.5ක් පමණ වේ යැයි ගණන් බලා තිබේ.

මෙහිදී විදේශ සමාගමකින් මිලට ගනු ලබන්නේ කර්මාන්තශාලාව පමණක් යැයි කියැවෙන නමුත් එය කිසිසේත් අපේක්ෂා කළ නොහැකි වන්නේ මෙවන් දැවැන්ත වටිනාකමක් ඇති සම්පතක් අතහැර කර්මාන්තශාලාවක පමණක් හිමිකම ප්‍රයෝජන රහිත වීමයි. විදේශීය සමාගම් පැමිණීමේ එක් මූලික අපේක්ෂාවක් වන්නේ අමුද්‍රව්‍ය අඩු මිල ලබා ගැනීමයි.

වාර්ෂික නිෂ්පාදන ධාරිතාව

ඉල්මනයිට් – ටොන් 90,000 – 120,000

රූටයිල්   – ටොන් 9,000 – 12,000

සර්කෝන් – ටොන් 5,500 -10,000

මොනසයිට් – ටොන් 100

අධි සාන්ද්‍ර ටයිටේනියම් ඉල්මනයිට් – ටොන් 4000

ප්‍රයෝජනයක් නොගන්නේ අැයි?

දැනට ස්ථාපිත කර ඇති කර්මාන්තශාලාවේ යන්ත්‍ර සූත්‍ර සමග වටිනාකම රුපියල් මිලියන 2500කි. එසේම මෙහි දැනට සේවකයන් 698ක් සේවය කරමින් සිටියි.

මෙතරම් දැවැන්ත සම්පතක් රට සතුව තිබියදීත් කණගාටුවට කරුණක් වන්නේ අප තවම ඛණිජ නිෂ්පාදන කිසිවක් සඳහා පියවර ගෙන නොතිබීමයි. 1963 සිට අද වන තෙක්ම නිධියෙන් කැණීම් කර ලබා ගන්නා සංචිතය අමුද්‍රව්‍ය ලෙස සකසා පෞද්ගලික අංශයට අලෙවි කිරීම පමණක් සිදු කෙරේ.

මෙම ඛණිජ අපනයනය සඳහා නියමිත තොග ලෙස සකසා ත්‍රිකුණාමලය වරායෙන්ද, අසුරන ලැබූ මළු මගින් කොළඹ වරායෙන්ද අපනයනය කරයි. මෙසේ අමුද්‍රව්‍ය අලෙවියෙන් ලබන වාර්ෂික දළ අදායම රුපියල් මිලියන 1800ක් පමණ වේ.

මෙහි 2011 වසරේ ලාභාංශය ලෙස 83%ක් සටහන් වූ අතර එය 2015 වන විට 39% දක්වා කඩා වැටුණි. 2016 දී වියදම් පාලනයෙන් හා කාර්යක්ෂමතාව ඉහළ දැමීමෙන් ලාභාංශය ඉහළ දමා ගැනීමට මෙන්ම පිරිවැය අවම කර ගැනීමටද එවකට නිසි බලධරයා ලෙස කටයුතු කළ අශෝක පිරිස් මහතාට හැකි වුවත්, අනපේක්ෂිත ලෙස ඔහුව තනතුරින් ඉවත් කිරීම ඒ සමයේ දැඩි කතා බහට ලක්විය.

නිමැවුම් ලෙස අපනයනය කිරීමේ වාසි

දැවැන්ත නිමැවුම් ප්‍රමාණයක් ඇති ක්ෂේත්‍රයක් වන මෙහි තාක්ෂණය යම් ප්‍රමාණයක් දියුණු කිරීමෙන් අමුද්‍රව්‍ය අපනයනයට වඩා දැවැන්ත ලාභයක් ඉපයිය හැකිය. උදාහරණයක් ලෙස ටයිටේනියම් ඩයොක්සයිඩ්(TiO2) නිපදවීම ගතහොත් ඒ සඳහා අවශ්‍යවන මූලික අමුද්‍රව්‍ය දෙකම අප සතුය. ඒ ඉල්මනයිට් හා රූටයිල්ය. මෙම ටයිටේනියම් ඩයොක්සයිඩ් තීන්ත, කඩදාසි, ප්ලාස්ටික් කර්මාන්තය, සිමෙන්ති හා පිඟන් ගඩොල් නිපදවීමේදී අවශ්‍ය අමුද්‍රවයකි. ඒ අනුව එය භාවිතය පුළුල් පරාසයක පවතින, ඉහළ ඉල්ලුමක් පවතින නිෂ්පාදනයක් බව පැහැදිලිය. එම ක්ෂේත්‍ර දියුණු කිරීම ස්වභාවිකව හිමිව ඇති ඇති මහත් සම්පතකින් උපරිම ප්‍රයෝජන ගැනීමේ මගකි.

ශ්‍රී ලංකාව වාර්ෂිකව ඇමරිකන් ඩොලර් මිලියන 8-10ක් අතර අදායමක් ඉල්මනයිට් අපනයනයෙන් ලබා ගන්නා අතර තීන්ත නිෂ්පාදනය වෙනුවෙන් ටයිටේනියම් ඩයොක්සයිඩ් ආනයනය සඳහා වාර්ෂිකව ඇමරිකන් ඩොලර් මිලියන 12-14 අතර මුදලක වැයවිමෙන් මෙහි ඇති ගැටලුකාරී බව මැනවින් තේරුම් ගත හැක.

තවත් උදාහරණයක් ලෙස ටයිටේනියම් ලෝහය නිස්සාරණය ගත හැකිය. ඒ සඳහාද අවශ්‍ය ඉල්මනයිට් හා රූටයිල් අප අමුද්‍රව්‍ය ලෙස අපනයනය කරන නමුත්, ටයිටේනියම් නිස්සාරණයක් සිදු නොකරයි. ලෝක වෙළඳ පොළ තුල ඉහළ ඉල්ලුමක් ඇති ටයිටේනියම් නිෂ්පාදනය රැසකට භාවිත කරන වටිනා ලෝහයකි.

මිට අමතරව, තවත් මේ ආශ්‍රිත දියුණු කළ හැකි තවත් නිෂ්පාදන අැත. රබර් නිෂ්පාදනය, තීන්ත නිෂ්පාදනය මෙන්ම වෙල්ඩින් කුරු ආදී නිෂ්පාදන සඳහාද දැරිය නොහැකි දැවැන්ත තාක්ෂණයක අවශ්‍යතාවයෙන් තොරව නිෂ්පාදනය කටයුතු කළ හැක.

කරුණු මෙසේ සලකා බලා පුල්මුඩේ ඛණිජ වැලි නිධිය වඩා කාර්යක්ෂමව භාවිත කිරීම තුලින් ආනයන වියදම් අඩු කරමින් අපනයන ඉහළ දමා ගැනීමටද මංපෙත් විවරව ඇති බව නිරීක්ෂණය කළ හැක. එයින් අඩු වන ලාභාංශය වැඩි කර ගැනීමට හොඳ අවස්ථාවක් පවතී.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.