“ලංකාවේ හිඟා කෑවත් අපේ රට අපිට හොඳයි… මෙහෙට නම් එන්න එපා…” – සෞදියේ ලාංකිකයෝ

October 03 06:46 2017 Print This Article

.

සෞදි අරාබියේ කාන්තාවන්ට රිය පැදවීමට අවසර දිය යුතු බවට සල්මාන් රජතුමා පසුගිය සතියේ නියෝග කළේය.
ඒ අනුව ලබන වසරේ ජුනි මාසයේ සිට සෞදි අරාබියේ කාන්තාවන්ට රිය පැදවීමේ අවසරය හිමි වේ.
සෞදි රජතුමාගේ නියෝගය ජාත්‍යන්තර ප්‍රසාදයට ලක් වුවත්, ඒ සමගම දැනට එහි සේවයේ යෙදී සිටින ලංකාව ඇතුළු රටවලින් පැමිණි සංක්‍රමණික රියදුරන් විශාල පිරිසකට රැකියා අහිමිවනු ඇතැයි බිය පළවෙමින් පවතී.
සෞදි අරාබියේ සේවය කරන විදේශික රියදුරන් ලක්ෂ අටක් අතරින් විශාල පිරිසක් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල වැසියන්ය.
“2015 නොවැම්බර් මාසේ මම වැඩ භාරගන්න කළින් සාමාන්‍ය මතයක් තිබුණ සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයෝ ලක්ෂ පහක් විතර ඉන්නවා කියල,” සෞදි අරාබියේ සිටින ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් පැවසීය.
“වැඩ භාරගත්තට පස්සේ මම සෞදි අරාබියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් ඒ ගැන විමසීමක් කළා.”
ඒ අවස්ථාවේ සෞදි අරාබි බලධාරීන් ශ්‍රී ලංකා තානාපතිවරයාට දැනුම් දී තිබෙන්නේ එරට සේවයේ යෙදී සිටින්නේ ශ්‍රී ලාංකිකයන් 190,000 කට ආසන්න පිරිසක් බවය.
“ඒකෙන් 90,000 ක් විතරම නිවාසවල වැඩ කරන අය,” තානාපති අස්මි තාසිම් පැහැදිලි කළේය.
ඒ අතරින් අති බහුතරය ගෘහ සේවිකාවන්ය.
සවුදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික රියදුරන් ද දෙකොටසක් සිටින බව පෙන්වාදෙන තානාපතිවරයා, රිය පැදවීම සඳහා කාන්තාවන්ට අවසර ලැබීම මගින් ආයතනවල සේවය කරන රියදුරන්ගේ රැකියාවලට කිසිදු බලපෑමක් එල්ල නොවන බව සඳහන් කළේය.
“බලපෑමක් වෙනවා නම් වෙන්නේ නිවාසවල සේවය කරන රියදුරන්ට විතරයි. ඒ කියන්නේ ආසන්න වශයෙන් 10,000 කට ආසන්න පිරිසක්. ඒ අයගෙනුත් හැම දෙනාටම ඒක බලපාන්නෙත් නෑනේ,” ඔහු පැවසීය.
රිය පැදවීමට උනන්දුවක් දක්වන කාන්තාවන් විශාල පිරිසක් මෙන්ම එයට විරෝධය පළ කරන කාන්තාවන් විශාල පිරිසක් ද සෞදි අරාබියේ සිටින බව විශ්ලේෂකයෝ ද පෙන්වා දෙති.
ඔවුන් පවසන පරිදි ආගමික සහ ගතානුගතිකවාදී අදහස් එම විරෝධයට එක් හේතුවකි. රිය පැදවීමට අවසර ලැබුණ ද රියදුරෙකුගේ සේවය ලබාගැනීම සමාජ තත්වය විදහා පෙන්වීමේ සංකේතයක් වීම තවත් හේතුවකි.
කාන්තාවන් රිය පැදවීමට යොමුවීමත් සමග මතු වී තිබෙන තත්වය පිළිබඳව සවුදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික රියදුරන් කිහිප දෙනෙකුගේ අදහස් විමසීය. (ඔවුන්ගේ ආරක්ෂාව පිණිස නම් හෙළි නොකරමු)
තමන් සේවය කරන නිවසේ හාම්පුතාට භාර්යාවන් දෙදෙනෙකු සිටින බව කියා සිටි එක් රියදුරෙක් පවසන්නේ හාම්පුතාගේ දෙවෙනි බිරිඳ සහ පළමු විවාහයේ දියණිය යන දෙදෙනාම රිය පැදවීමට සූදානමින් සිටින බවය.
හාම්පුතාගේ තරුණ දියණිය වෛද්‍යවරියක වීමේ අදහසින් අධ්‍යාපනය හදාරන අතර, දෙවෙනි බිරිඳ ඇඟලුම් කම්හල් කිහිපයක හිමිකාරිය බව පවසන ඔහු වැඩිදුරටත් කියා සිටියේ පළමු බිරිඳ පමණක් තවදුරටත් රියදුරෙකුගේ සේවය ලබා ගනු ඇති බවය.
“පඩියක් දීල පිට කෙනෙක් තියාගන්නවට වඩා තමන්ම කාර් එක අරගෙන යන එක හොඳයි කියල හිතන අය ඉන්නවනේ.”
එබැවින් කාන්තාවන්ට රියදුරු බලපත් හිමිවීමත් සමග බොහෝ විදේශීය රියදුරන්ට සිය රැකියා අහිමිවනු ඇති බව ඔහුගේ අදහසය.
“අනිවාර්යයෙන්ම රස්සාවල් නැතිවෙන්න පුළුවන්. ගොඩක් තරුණ අය ඉන්න ගෙවල්වලට මේක බලපානවා.”
මේ අතර සෞදි අරාබියේ නිවසක සේවය කරන තවත් ශ්‍රී ලාංකික රියදුරෙක් කියා සිටියේ සිය නිවසේ සිටින කිසිම කාන්තාවකට රිය පැදවීම සඳහා නිවසේ හාම්පුතාගෙන් අවසර නොලැබෙනු ඇති බවය.
සිය හාම්පුතාගේ එක් දියණියක ගේ නිවසේ පාකිස්තාන ජාතික රියදුරෙක් සේවය කරන අතර, තවත් තරුණ දියණියක එම නිවසේම වාසය කරන බව පවසන එම රියදුරා වැඩිදුරටත් කියා සිටියේ, රිය පැදවීම සඳහා නිවසේ ස්වාමි දුවට හෝ ඔවුන්ගේ දියණියන්ට අවසර නොලැබෙනු ඇතැයි යන්න තමන්ට සහතික බවය.
“ඒගොල්ල කාර් එලවන එක ගැන මගේ බොස් කොහොමටවත් කැමති වෙන්නේ නෑ.”
එබැවින් රිය පැදවීම සඳහා සවුදි කාන්තාවන්ට අවසර ලැබීම මගින් එහි සේවය කරන විදේශික රියදුරන්ගේ රැකියාවලට ප්‍රබල තර්ජනයක් එල්ල නොවනු ඇති බව ඔහුගේ අදහසය.
අනෙක් අතට ශ්‍රී ලංකාව තුළ රියදුරන්ගේ හිඟයක් පවතින බව පෙන්වාදෙන තානාපති අස්මි තාසිම් වැඩිදුරටත් පවසන්නේ සෞදි අරාබියේ රියදුරු රැකියා ලබාගැනීමට ශ්‍රී ලංකාවේ රියදුරන්ගේ ප්‍රබල උනන්දුවක් නොමැති බවය.
“නිවාසවල වැඩ කරන රියදුරන්ට ආයතනික අයිතීන් නෑ, නිවාඩුවක් නෑ, නිදහස සීමා වෙලා. ඒ නිසා මෙහේ රියදුරු රැකියා ලොකු ඉල්ලුමක් තියෙන රැකියා නෙවෙයි.”
කාන්තාවන් රිය පැදවීම පිළිබඳව අදහස් දැක්වීමට වඩා ඔවුන් දෙදෙනාම කැමැත්තක් දැක්වූයේ එහිදී තමන් විදින වේදනාව විස්තර කිරීමටය.
“අපිට මෙහෙ කිසිම නිදහසක් නෑ, නිවාඩුවක් නෑ, අඩුම ගානේ එලියට යන්නවත් විදියක් නෑ. වැඩ නැති දවසටත් කාමරේට වෙලා ඉන්න ඕන,” එක් රියදුරෙක් පැවසීය.
ජීවන වියදම දිනෙන් දින ඉහළ යමින් පවතින නමුත් සිය වේතනවල කිසිදු වෙනසක් නොමැති බවට ද ඔවුහු චෝදනා කරති.
“පඩිත් හරිම අඩුයි. මේ දෙසැම්බර්වල මගේ කොන්ත්‍රාත් එක ඉවරයි. ඊට පස්සේ දවසක්වත් මෙහෙ ඉන්න මම කැමති නෑ. ආයෙත් නම් මෙහෙ එන්නේ නෑ. දැන් සෞදි යන්න වැඩි දෙනෙක් කැමති නෑ.”
ඇතැම් හාම්පුතුන් තුළ “මනුස්ස කමක් නැති” බව කියා සිටි තවත් රියදුරෙක් වැඩිදුරටත් සඳහන් කළේ “බල්ලෝ බළලුන්ට වගේ තමයි අපිට සළකන්නේ,” යනුවෙනි.
“කිසිම තෙතමනයක් නෑ. වැඩ කරන එකා කෑවද, බීවද කියල හොයල බලන්නේ නෑ. පණ තියන කල් වැඩ කරනවා.”
සිය හාම්පුතාට අයත් නිවාස පහකම රියදුරා වශයෙන් සේවය කරන නමුත් තමන්ට වැටුප් ලැබෙන්නේ එක් නිවසක සේවය සඳහා පමණක් බව ද ඔහු සඳහන් කළේය.
එබැවින් සෞදි අරාබියේ කාන්තාවන් රිය පැදවීමට යොමුවීම හේතුවෙන් සිය රැකියාව අහිමිවන්නේ නම් “ඊට කමක් නැහැ” යනුවෙන් ඔහු පැවසීය.
“ඔයා මේකත් ලියාගන්න,” සංවාදය නිමා කිරීමට ප්‍රථම ඔහු ඉල්ලීමක් කළේය.
“පිරිමි නම් තව කමක් නෑ. ලංකාවේ ඉන්න ගෑනු නම් කීයටවත් අරාබි රටවලට එවන්න එපා.”
මේ අතර පුරුෂයෙකු නොමැතිව එළිමහනේ හැසිරිය නොහැකි බවට පවතින නීතිය කාන්තාවන් රිය පැදවීම සම්බන්ධයෙන් බලපාන්නේ කෙසේදැයි යන්න තවමත් පැහැදිළි නැත.
එහෙත් දැනටමත් බොහෝ කාන්තාවන් පුරුෂයන් රහිතව සැරිසරන බව ද ශ්‍රී ලාංකික රියදුරෙක් පැවසීය.
“මම උදේට අපේ මැඩම්ව බස්සන්නේ එක තැනකින්. හවසට ආපහු ගන්නේ ඊට වඩා කිලෝමීටර් ගානක් එහා තැනකින්. එතනට ගියේ කොහොමද කියල කවුරුවත් දන්නේ නෑ.”
තවත් රියදුරෙක් අප සමග සිය සංවාදය අවසන් කළේ මෙවැනි වදනකිනි.
“මෙහෙ එනවට වඩා හිඟා කෑවත් හොඳයි කියල වෙලාවකට මට හිතෙනවා. කන්න බොන්න නොතිබුනත්, අපේ පුංචි රට කොයිතරම් ලස්සනයිද කියල මෙහාට ආවට පස්සේ තමයි තේරෙන්නේ.”

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.