‌”අපි තරග කරන්න තණකොළ තියෙන විකට්‌ එකක්‌ ඉල්ලුවාම තියෙන තණකොළ ටිකත් කපලා දානවා” ක්‍රීඩා ඇමති , ක්‍රිකට් සභාපති ඉදිරියේ තබාගෙන මාලිංගගෙන් චෝදනා .!

September 19 09:39 2017 Print This Article

.

ලසිත් මාලිංගගේ යෝකර් පන්දුවට නොදෙවැනි වාග් ප්‍රහාරයද ඔහුගේ ජනප්‍රියත්වයට අතිරේක උත්තේජනයක්‌ සපයා තිබේ. මාධ්‍ය සමග පැටලීම, අර්ජුන සමග පැටලීම සහ ක්‍රීඩා ඇමැතිවරයා සමග පැටලීම මාලිංගගේ වාග් ප්‍රහාරවල තරම කොතරම්ද යන්න ඉතිහාසය සාක්‍ෂි දරයි. ‘ගිරව් බෙනයට රිලව් රිංගුවාහම ඔහොම තමයි’ යෑයි මාලිංග දවසක්‌ සැර කතාවක්‌ කීවේය. එය ක්‍රීඩා ඇමැතිවරයාට ‘පොල්ලෙන්’ ගසන්නාක්‌ මෙන් වැදුණි. එබැවින් ඒ පුවත මාධ්‍යටද කදිම ප්‍රවෘත්තියක්‌ විය. නමුත් මාලිංග වැන්නන් කරන කතාවල හරය මෙරට ක්‍රිකට්‌වලට උත්තේජනයක්‌ කරගත යුතු අවස්‌ථාද තිබේ. මාලිංග සතු ඒ පෞරුෂය නිසා ඔහු ඇතුළු ක්‍රීඩකයන්ගේ විශ්වාසය බිඳී ගිය තැන් කිහිපයක්‌ රටටම ප්‍රචාරය කළ හැකි තැනක ඔහු මුදා හැරියේය.

ක්‍රිකට්‌ පරාජයට තිත තැබීම සඳහා සැලසුම් සකස්‌ කිරීමට ක්‍රිකට්‌ සමග සිටින සහ හිටපු සියලු දෙනා ඉකුත් 15 වැනිදා බත්තරමුල්ල වෝටර්ස්‌ ඒඡ්හිදී මුණ ගැසුණි. ඒ වැඩ සටහන ක්‍රිකට්‌ පරාජයෙන් මුදා ගැනීමේ යෝජනා ඉදිරිපත් කිරීමයි. එය ක්‍රීඩා ඇමැතිවරයා පවසන පරිදි ක්‍රිකට්‌ ගොඩ ගැනීමේ අවසන් ප්‍රයත්නය විය හැකිය. ‘මෙතනදි ගන්නා සියලු දේ ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. පාරෙදි කෑ ගගහ වැඩක්‌ නැහැ.’ යෑයි පවසමින් ඇමැතිවරයා කතාව කරගෙන යද්දී, ‘මාලිංගත් කතාවක්‌ කරන්න ඕන කියල ඉල්ලුවා ‘ යෑයි පැවසීය. ඒ අනුව මාලිංගට ඉඩ ලැබුණි. මාලිංගගේ ඒ කතාව හරියට ඔහු එල්ල කරන යෝකර් පන්දු සහ බවුන්සර් පන්දුවලට දෙවැනි නැත.

‘අපි තරග කරන්න තණකොළ තියෙන විකට්‌ එකක්‌ ඉල්ලපුවාම ඒවා කපල දානවා. අපි තණකොළ කපලා දැම්මේ ඇයි කියලා ඇහුව්වා. නමුත් මේවා වුණේ වරක්‌ දෙවරක්‌ නොවේ. මේ ගැන මම බලධාරීන්ට දැනුම් දුන්නා. නමුත් කිසිවක්‌ සිදුවුණේ නැහැ. අපට අවශ්‍ය විදිහට දේවල් වෙන්නෙ නැති වුණාහම ක්‍රීඩකයන්ගේ විශ්වාසය බිඳී යනවා.’ යෑයි මාලිංග පවසද්දී ක්‍රිකට්‌වලට වගකිව යුතු සියලුම ලොකුතැන් ඒ කතාවට සවන් දුන්නේය.

පුහුණුකරුවන් තෝරා ගැනීම පිළිබඳව ද මාලිංග ඉඟියක්‌ පළ කළේය. ‘අපිට පුහුණුකරුවන් ගොඩක්‌ ඉන්නවා. නමුත් අපට සුදුසු පුහුණුකරුවන් ඉන්නවද කියල අපෙන් අහන්න ඕන.’ ‘දක්‍ෂතා ඉහළ දැමීමේ කළමනාකරුවෙක්‌ ඉන්නවා සයිමන් විලී කියලා. ඔහු පළමු පෙළ ක්‍රීඩා කරල තියෙන්නෙත් තරග 16 යි. අපිට හොඳ පළපුරුද්දක්‌ නැති පුහුණුකරුවකු සමග අපේ ක්‍රිකට්‌ අනාගතය කුමක්‌ වේවිද.’ යන්න මාලිංගගේ ප්‍රශ්නය විය. ‘සයිමන් විලී පළමු පෙළ තරගවලදී ලකුණු 100 කටත් අඩුවෙන් ගහල තියෙන්නෙ. මේක විශාල අත්වැරැද්දක්‌. ඒ වගේම ජාතික කණ්‌ඩායමෙන් ක්‍රීඩකයෙක්‌ එළියට ගියහම පුහුණුවීම් කරල ඇතුළට එන්න ක්‍රමවේදයක්‌ නැහැ. ඒ නිසා ඔවුන් ක්‍රීඩා සමාජවල පුහුණුවීම්වලට යනවා. අපි මේ ගැන කතා කළා. නමුත් විසඳුමක්‌ ලැබිලා නැහැ.’

පසුගිය අවුරුදු දහය ඇතුළත ශ්‍රී ලංකාවට අහිමි වූ ක්‍රීඩකයන් ප්‍රමාණය අනුව ජාතික කණ්‌ඩායමට සුදුස්‌සකු සොයා ගැනීම ඉතා දුෂ්කරවී ඇති බවද මාලිංග පෙන්වා දෙයි. ‘තිළිණ කණ්‌ඩම්බි, මලින්ද වර්ණපුර, ජෙහාන් මුබාරක්‌, කෞෂාල් ලොකුආරච්චි හා කෞෂාල් වීරරත්න වැනි ක්‍රීඩයන් පළමු පෙළ අත්දැකීම් ලබා තිබූ ක්‍රීඩකයන්. නමුත් මේ සියල්ල දැන් නැහැ. මේ වගේ අත්දැකීම් ඇති ක්‍රීඩකයන් සිටියනම් ජාතික කණ්‌ඩායමේ ක්‍රීඩකයකුට ආදේශ කරන්න තිබුණා.’

මාලිංග පවසන පරිදි පසුගිය කාලයේ පළමු පෙළ තරගවල” දක්‌නට ලැබුණු අත්දැකීම් ඇති ක්‍රීඩකයන් අද නොමැතිවීමද දක්‍ෂ ක්‍රීඩකයන් සොයා ගැනීමේ කර්තව්‍යට බාධකයක්‌ වී තිබේ. මේ සම්බන්ධව චාමර කපුගෙදර ‘දිවයින’ ට පැවසුවේ, ‘අපි ඉස්‌සර ‘ක්‌ලබ් එකේ ගහන කොට බැට්‌ කරන්න යන්නෙත් කකුල් ගැහි ගැහී. මොකද අනිත් ටීම් එකේ ඉන්නෙ අවුරුදු හත අටක්‌ හෝ දහයක්‌ පළමු පෙළ ක්‍රීඩා කරපු අත්දැකීම් තියෙන ක්‍රීඩකයන්. නැතිනම් ජාතික කණ්‌ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්. අද ඒ තත්ත්වය නැහැ. අවුරුදු 29-30 ක්‍රීඩකයකු ක්‍රීඩා සමාජයක නැහැ.’ යනුවෙනි. කෙසේ වෙතත් පළමු පෙළ ක්‍රීඩා සමාජ 24 ක්‌ පැවතීම හේතුවෙන් අත්දැකීම් රහිත ක්‍රීඩකයන්ගේ තරගාවලියක්‌ බවට එය ඉදිරියටත් පැවැත්වේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වලට පළමු විසඳුම සෙවිය යුත්තේ එතැන් සිටය. මේ රැස්‌වීමේ” මාලිංගගේ කතාව සහ අනෙකුත් කතා එක්‌කොට ක්‍රීඩා ඇමැතිවරයා කුමක්‌ කරන්නේද යන්න රටම බලා සිටියි.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.